නිව්ටන්ගේ තුන්වැනි නියමය

දවසකට කී පාරක් කණාණාඩියෙන් මූණ බලනවාද? නිකමටවත් හිතුවද ඇයි කණාණාඩියෙන් මූණ පේන්නේ කියලා. ආලෝකය වීදුරු ඇතුළෙන් ගමන් කරනවා. ඒ වුණාට වීදුරුව පිටිපස්සේ රසදිය හරි ගාලා තියෙන නිසා අර ගමන් කරපු ආලෝක කිරණ ආපහු එනවා. ඉතින් එතකොට අපිට අපිවම පේනවා.මේවගේ හැමදේකටම විද්‍යාත්මක හේතුවක් තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසේ.

හරියටම මම කවුද කියලා කියන්නත් බැරි වුණානේ. මම කපිල රාමනායක. ජ‘පුර කැම්පස් එකෙන් තමයි බි.ඒ.  එක සම්පූර්ණ කළේ. උපාධීධාරී පත්වීම්වලින් මට අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහකාර තනතුරක් ලැබණා. අපි හිටියේ පොඩි ඇනෙක්ස් එකක. ඒකට විද්‍යාත්මක හේතුව තමයි ගන්න පඩියෙන් පෝෂණ මල්ලට 2,500 ක් ගියාම ඉතිරිවෙන මුදලේ ප්‍රමාණයට සමාන වටිනාකමක් ඇති ඇනෙක්ස් එකක් කුලියට ගැනීම. මගේ විනෝදාංශය වුණේ Film බලන එක. ආ…….ඒක කියන කොට මතක් වුණේ. ළඟදි දවසක පාළු හවසක අපේ ගෑනි “ද ඉන්ග්ලිෂා පේෂන්ට්” කියන ෆිල්ම් එකේ ඩි.වී.ඩි. එක පොඩි එකකුට දීලා තනි රෝදේ කරත්තයක් හදාගන්න.

‘මහ බූරු වැඩක්නේ මාලතී ඔයා කරලා තියෙන්නේ. මොළේ හොඳ නැද්ද ඒක කොච්චර වටින ෆිල්ම් එකක්ද? ‘

“අනේ මේ කපිල මගේ කටත් අවුස්සන්න එපා හරිද? වටින ෆිල්ම් එකක් කිය කියා ඔයා බලන්නෙත් සුද්දෝ සුද්දියෝ කිස් කරන ටික විතරනේ.”

“කෑගහන්න එපා ගෑනියේ. වටේ පිටේ මිනිස්සු හිතයි මම බ්ලූ ෆිල්ම් ගෙනල්ල බලනවා කියලා.”

මං හිතන්නේ දැන් අපේ කතා නායිකාව ගැන හොඳ වැටහීමක් ලැබෙන්න ඇති. විහිළුවට ගන්න එපා ඒකටත් විද්‍යාත්මක හේතුවක් තියෙනවා.අපේ ගෑනි මම බඳින්න කලින් යාළු වෙලා හිටපු කොල්ලත් එක්ක බලලා තියෙන්නේ ජිවිතේ ලස්සනයි, රංජා, කොස්තාපල් පුඤ්ඤසෝම වගේ ඒවා.රසවින්දන පරාසය ලඝු වන්නේ තමා ඇසුරු කරන පරිසරය, සේවනය කරන සෞන්දර්ය ප්‍රවාහයන් මතය. මේක සරළ සත්‍යයක්. මේ වගෙ ගෑනු හොඳ දේශපාලන සාකච්ඡාවලටම තමයි. සිරාවටම කියන්නේ මට නම් මේ ජිවිතේ ඇතිවෙලා තියෙන්නේ.මේ ජිවිතේ කියලා මං අදහස් කළේ පවුල් ජිවිතේ කියන එක. බැරිම තැන මගේ ආතල් එක කඩාගන්නේ නැතිව වැඩේ ගොඩදාගන්න මම පුරුදු වුණා. දවස් දෙකකට සැරයක් භාගෙන අරගෙන යනවා. හවසට වොෂ් එකක් දාගෙන ෆිල්ම් එකක් බලන ගමන් කාලක් ගහනවා. දෙයියනේ කියලා හීනියට වදිනවා ඉතින්. මොකෝ අපි බේබද්දෝ නොවෙයිනේ කබරය දානකල් බොන්න. අනෙක අපි තැන් තැන්වල බාර් ගාණෙඅ බොන්න යනවද? නෑනේ. වන් මෑන් ෆන්. සිංහලෙන් කියනනේ එඅක පුද්ගල සංතෘප්තිය කියලා. කොහෙද ඉතින් අපේ ගෑනිට ඕව තේරෙන එකක්යැ.

‘මේ ඔය ෆිල්ම් එක පස්සේ බලාගන්න. දැන් මට මුතුපලස බලන්න ඕනේ.”

‘මුතුපලස? කී දවසක් කියලා තියෙනවද මෙගා නාට්‍ය බලන්න එපා කියලා.ඕවා බලලා ජිවිතේට මොනවද එකතු කර ගන්නේ?”

‘අනේ මේ කපිල නිකං කට තිබ්බ පළියට කියවන්න එපා හරිද? හරි මට කියනවකෝ දැන් ඔය බලන ෆිල්ම් එකේන් ඔහේ මොනවද ඉගෙන ගත්තේ කියලා. ගෑනුන්ගේ පෑන්ටිවල ඉලස්ටික් ගලවන හැටිද?”

‘ යෝදියේ මේ අහපන් . මේ නළුවා තමන්ගේ කෙල්ලගේ පෑන්ටියේ ඉලස්ටික් එක ගලවන්නේ උගේම බෙල්ලට ව්දගන්න. එතැන රතු වුණාම සමාජෙට පෙන්නන්න කෙල්ල කිස් මාර්ක් එකක් තිබ්බා කියලා. මේ කොල්ලා ලිංගික බෙලහීන ම්නිහෙක්.”

‘ හරි ෆිල්ම් එකම ගෙනත් තියෙන්නේ. මට ඔහෙත් එක්ක වාද කරන්න ඕනෙ නෑ. හට්fටියේ පරිප්පු ඇති. පාන් කපාගෙන කන එකයි ඇත්තේ. මං යනවා නිදාගන්න ‘

දැන් හිතන්නේ මේකට විද්‍යාත්මක හේතුව මොකක්ද කියලනේ.පිස්සන් සමඟ ගණන් සෑදීම ස්ත්‍රීයක් සමඟ වාද කිරිමට අනුලෝම සමානුපාතික වේ. මේ ඒක නොවෙයි. කුණුහරුප කියනවා කියලා හිතන්න එපා. මේක මගේ විවාහ ජිවිතේ ගැන අතිශය රහසිගත ප්‍රකාශයක්. ම්ම්ම්……..මොනවා වුණත් ඒ මගේ කසාද ගෑනි. මට බෑ ඒවා ඔහෙලට කියන්න. අපිටත් කියලා පෞද්ගලිකත්වයක් තියෙනවා හරිද?

සොරි……. මට ටිකක් තරහ ගියා. ඒකෙන් මේකෙන් මම කියාගෙන ආව කතාවක් අමතක වුණා. ආ…..හරි. අපි බැඳලා අවු.4ක් වෙනවා. අපේ ගෙවල් වලට තියෙන ලොකුම ප්‍රශ්නෙ ළමයි නැති එක. මේ ගන්න පඩියෙන් මටයි ගෑනිටයි හැරුණම අඩුම ගාණෙ ගෙට ගොඩවෙන එකෙකුට තේ එකක් දෙන්න පුළුවන්ද? ඉතින් දරුවෙක් ගැන කවර කතාද?

මෙතනින් එහාට මේ කතාව කරගෙන යන්න නම් මට අසීමාන්තිකව ඇත්ත කියන්න වෙනවා. ඒකට තියෙන විද්‍යාත්මක හේතුව තමයි පරික්ෂණ, නීරික්ෂණ ඔස්සේ නිගමනවලට එළැඹිමේදි බොරු කළ නොහැකිය කියන එක. තවදුරටත් මම කොළේ වහලා ගැහුවොත් මේ කියන්නේ බොරුවක් කියලා මාට්ටු වෙනවා.මම මගේ ගෑනිගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඒ කතාව සරලව කෙටියෙන් මෙහෙම කියන්නම්.

“ සිරුරෙන් එක තැන – හදවත් දෙතැනක

දෙදෙනෙකු වෙමු – එකම වහල යට”

උදේ වැඩට යන්නේ රණ්ඩු වෙලා.දවල් කෝල් කරන්නේ මොකක් හරි රණ්ඩුවකට.හවස ගෙදර එද්දි ගෙවල් තියන විදිය දැක්කාම මට මල පනිනවා. ඉතින් ආපහු රණ්ඩු. නිදාගන්න ඇඳට ගියාමත් රණ්ඩු බෙඩ් ෂීට් හෝදලා නෑ මාසෙකින්. කොට්ට උර මාරු කරලා නෑ. වෙන දෙයක් ඕන නෑ. අඩුම ගාණේ මගේ සරම හෝදලා තියන්නකෝ. ඒකත් නෑ. අම්මප බං ඔළුව පොළොවේ ගහගෙන මැරෙන්න හිතෙනවා.

අනේ මේ මඟුලේ විද්‍යාත්මක හේතු අහන්නේ නැතිව හිටහං බන් පොඩ්ඩක් තේරුම් ගනින් මම පත්වෙලා ඉන්න තත්වේ.

බැරිම තැන මම ගෑනිව මරන්න තීරණය කළා. මගේ යාළුවෙක් ඉන්නවා මංජු කියලා. ආමි එකෙන් පැනපු එකෙක්.අමු පිස්සෙක්.වෙන සොල්ජර්ස්ලා ඇබ්සන් වුණේ උතුරු ගිහිල්ලා යුද්ධ කරන්න බැරි නිසා.මංජු අයින් වුණේ යුද්දෙන් පස්සේ. මිනිහගේ රීසන් එක තමයි යුද්ධ කරපු මට කොන්ක්‍රීට් අනන්න බෑ කියන එක. ඔන්න ඔන්න මම කතාවෙන් පිට පැන්න. මට කියන්න ඕනි වුණේ මම මංජුගෙන් පිස්තෝලයක් ඉල්ලගත්ත කියන එක. මළ හත්තිළව්වයි. වෙඩි තිබ්බොත් මං මාට්ටු වෙනවා.

කොට්ටයක් මූණට තියලා තද කරත් මාට්ටු වෙනවා.පිහියෙන් ඇන්නත්, වස දුන්නත් ,බෙල්ල මිරිකුවත් මාට්ටු වෙනවා. මෙච්චර දියුණු ලෝකේ ස්වාභාවික මරණයක් අත්කර දෙන්න තියෙන එකම ක්‍රමේ මැලේෂියන් ප්ලේන් එකක ටුවර් එකක් යවන එක. ඒත් ඉතින් කෝ ඒවට සල්ලි. අතේ සල්ලි තියෙනව නම් ඉල්ලන ගාණක වන්දියක් ගෙවලා මම ඔය ගෑනිව ඩිවෝස් කරලා දානවනේ.

හෝව්, හෝව්, හෝව් පොඩ්ඩක් ඉන්න. පට්ට අයිඩියා එකක් මඟ එනවා. රතිය රඟා මරුවා ළඟා ක්‍රමවේදය. ඒකට විද්‍යාත්මක හේතුව එකම ක්‍රියාවක් නොනවත්වා සිදුකරීමේදි කාර්යක්ෂමතාව ශුන්‍ය වී එන්ජිම අකර්මණ්ය වීම.

මේ අදහස තව තව කෑලි එකතු කරලා මම හොඳට පෝෂණය කරගත්තා.එදා බදාඳා වෙනදාට වැඩිය කලින් ඔෆිස් එකෙන් එළියට ඇවිත් අවසන් භෝජන සංග්‍රහයට ලෑස්ති වුණා.ආයි ඉතින් මේ ආත්මේ ඇඳුමක්වත් අරන් දෙන්න වෙන්නැති නිසා කීයක් වුණත් කමක් නැහැ කියලා ලස්සන ගවුමකුත් ගත්තා.රෙඩ් වයින් එකකුයි රතුපාටම ඉටිපන්දම් ටිකකුයි චයිනීස් ඩ්‍රැගන් එකෙන් 280ක් ෆ්රයිඩ් රයිස් එකකුත් දාගත්තේ මේ රාත්‍රීය තව ටිකක් රොමෑන්ටික් කරගන්න. කිව්වට මුකුත් අවුලක් හිතන්න එපා. මම ෆාමසියෙන් පුරුෂ ශක්තිය වැඩි කරන ටැබ්ලට් 3කුත් ගත්තා. දැන් සියල්ල ලැස්තියි. මේ පටන්ගන්නේ අපේ අසිරිමත් රාත්‍රීය.

“ ආනේ ඔයා නම් හරිම නෝටියෙක්. නිකමටවත් මට කියන්නැතිව මේ තරම් මාව සර්ප්‍රයිස් කළානේ. දන්නවද කපිල ඔයා ගිය සිංහල අවුරුද්දට ඇඳුමක් අරන් දුන්නට පස්සේ මේ මට ගවුමක් ගෙනාවමයි. අනේ මන්දා මට නම් හිතෙන්නේ අපි බැඳපු දවස අද වගේ කියලා. මේ තරම් සතුටක්.”

ඔන්න ඉතින් අපේ ගෑනු දැක්කනේ රෙදි කෑල්ල ගෙනත් දුන්න ගමන් මෙච්චර කාලයක් කරපු දේවල් අමතක වුණා. අම්මප මුන්ට ගහන්න ඕනි මඩුවල්ගෙන්. සාලේ ලයිට් ඕෆ් කරලා, ඉටිපන්දම් දෙක ලස්සනට ගහලා 280 ෆ්රයිඩ් රයිස් එක ප්ලේටි 2ට දාගෙන රෙඩ් වයින් බොන ගමන් අපි ඩිනර් ගත්තා.

“ ඇත්තමයි කපිල ඔයාගේ මේ වෙනස් වීම මට හිතාගන්න බැ.හැමදාම ඔහොම ඉන්නකෝ.”

මළ වසංගතේ හැමදාම කවහන්කෝ මේකිට 280 ෆ්රයිඩ් රයිස්. රෑ කෑමට විතරක් 8400ක් යනවා. කෑම කාලා අපි නිදාගන්න ගියා. කොහේ නින්ද යන්නද? බුදු අම්මේ මමත් නිකම් ජෝන් සීනා වගේ පුදුම ශක්තියක් තියෙන්නේ මට විශ්වාසයි අපි නිදාගත්තේ 4 පහුවෙලා කියලා. කීයට නිදාගත්තත් 6.00ට ඇහැරෙන්න ඕනි. නැත්නම් වෙලාවට වැඩට යන්න හම්බ වෙන්නේ නෑ. මම උදේ නැඟිටිද්දිත් ගෑනි මැරිලා. නයිටිය උඩ ගහිල්ලා. කටින් සෙම බේරෙනවා. මම ගෑනිගේ බොඩිය උඩින් පැනලා ඉක්මනට වැඩට යන්න ලෑස්ති වුණා.වෙනදට වඩා මගේ මූණ ප්‍රබෝධමත් කියලා මටම දැනෙනවා. ඔෆිස් එකේ එවුනුත් මගේ දිහා බලන්නේ අද මොකද මේ වෙනස කියන්න වඟේ අනිවා ඩෙෆා තව ටිකකින් අල්ලපු ගෙදරින් කෝල් එකක් එනවා.

“ පුතා කලබල වෙන්න එපා මාලතී නැතිවෙලා ඉක්මනට ගෙදර එන්න” කියලා. හවස් වෙනකල් ඒ කෝල් එක ආවේ නෑ. ෂුවර් එකට අල්ලපු ගෙදර ඇන්ටි ගමේම ඕපදූප කියවන්න අද අපේ ගෙදර එන්න නැතිව ඇති. වැඩ ඇරිලා මම ගෙදර යනකොට ගේට්ටුවත් ඇරලා. දොරත් ඇරලා. උදේ වැඩට ආපු විදියටම තිබුණා. මං හිතන්නේ අද කවුරුත් අපේ ගෙදරට ඇවිල්ලා නෑ. බොඩියට කූඹි වහලා ඕජසුත් ගලනවා ඇති. ඉක්මනට පොලීසියට කතාකරලා කියන්න ඕනි. හොස්පිටල් එකටත් කියන්න වෙයි. මගේ මූලිකත්වයෙන් කරන පළමුවැනි මළගෙදර නිසා කාටවත් ඇදයක් කුදයක් කියන්න බැරිවෙන්න කරන්න ඕනි. මම මේ දේවල් ගැන හිත හිතා සාලේ තිබුණ හාන්සි පුටුවෙ වාඩි වුණා.

එකපාරටම වළලු හෙල්ලෙන සද්දයක්. ඒ එක්කම දොර අස්සෙන් තේ එකක් එළියට ආවා. ගෙදර ලයිට් දාලා නැති නිසා කවුද කියලා අඳුරන්නත් බෑ. හොල්මනක්ද දන්නෙත් නෑ. මම ගැස්සිලා පුටුවෙන් නැඟිට්ටා. අම්මටසිරි මාලතී. මේකිගේ ගන්ධබ්බ අවස්ථාවක්ද කොහෙද? මෙන්න එකපාරටම ගෙදර ලයිට් පත්තු වුණා. යකෝ කර්ට්න් වෙනස් කරලා. සිවිලිමේ මකුළු දැල් කඩලා. ඇතුළ මාර ලස්සනයි. කෑම සුවඳකුත් එනවා. මම ඒ ඔක්කොම අස්සේ ගෑනිගෙ හෙවණැල්ල වැටෙනවද කියලා බැලුවා. කොහොමද එහෙම වෙන්නේ. ගෑනි මැරිලා නෑ.

“ මාලතී මේ මොකද මේ?”

“ එහෙම තමා. නිව්ටන්ගේ තුන්වැනි නියමය. සෑම ක්‍රියාවකටම ඒ සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රීයාවක් ඇත.”

“ මාලතී ප්ලීස් විකාර කියවනානේ නැතුව මොනවද මෙතන වෙන්නේ කියලා මට කියනවද?”

“අපෝ මහ ලොකුවට හැමදේටම විද්‍යාත්මක හේතු හොයන මනුස්සයා. තමන්ගේ දේවලට හේතුව දන්නේ නෑ. අහස නිල් පාට ඇයි කියලා දන්නවා. බවුසරය රවුම් ඇයි කියලා දන්නවා. නිව්ටන්ගේ තුන්වැනි නියමය කොහොමද අපිට ගැළපෙන්නේ කියලා දන්නේ නෑ. ඔයා බබා”

“ මාලතී මගේ සීමාව ඉක්මවා යන්න හදන්න එපා. මොකක්ද වුණේ කියලා මට කියනවා.”

“ අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ.”

“ මොකක්? ‘

“ ඇයි තේරෙන්නේ නැද්ද ? නිවුටන්ගේ 3 වැනි නියමය”

 

 

 

 

 

 

 

 

Advertisements

4 Comments Add yours

  1. Manusha says:

    OMG! WOW!!!!

    Liked by 1 person

  2. Manusha says:

    OMG..WOW!

    Liked by 1 person

  3. thili says:

    අපිට සලකන අපිත් සලකන්නේ ”ඒ කතාව තිබ්බ..
    එත් මෙච්චර කොලිටියට නෙමේ…මේක සුපිරි

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s