දුටුගැමුණු රජතුමා FCIDයට කැඳවයි

අටුවා ටීකා ටිප්පනි ඕන නෑ. ඔන්න නමෝ විත්තියෙන් F.C.I.D යෙ ප්‍රශ්න කිරීම්වලට දුටුගැමුණු රජතුමාව කැඳෙව්වා. පැය තුනක ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව පිටවෙලා ගියා. ඒත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඇතිවුණ පරස්පරතා නිසා ඉතිහාසාධිකරණයේ තීන්දුවක් මත නැවත ඉතිහාසයට ගමන වළක්වන වාරණ නියෝගයක් ලබා ගනිමින් කාලාර්ත්‍රයේ ගමන් බලපත්‍රය ඉතිහාසාධිකරණය ළඟ තබාගත්තා.
01. ඔබ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මී මුත්තෙක්ද?
මම දන්නෙ නෑ. කවුද එහෙම කියන්නේ. මහාවංශයෙ කියනවද?

02. ජේ‍යෂ්ඨ කලාකරුවෙක් වෙන ජැක්සන් ඇන්තනී රටවිරු රියල් ස්ටාර් අවසන් මහා තරගෙදී එහෙම කියනවා. ඒකයි ඇහුවේ.

සාලියගෙන් හරි දේවාතිස්සගෙන් හරි තමයි අහන්න ඕන. මට ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න තේරෙන්නෙ නෑ. මගේ අතින් නම් එහෙම පරම්පරාවක් බිහිවුණා කියලා මතකයක් නෑ. ඔය ජැක්සන් ඇන්තනී කියන්නේ මගේ චිත්‍රපටියෙ එලාරට රඟපාපු කෙනා නේද? මරු ඇක්ටිං ආ…….

03. ඔව් එයා තමයි. හරි එතකොට මට කියන්න ඔබට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරම්පරාවට නෑකමක් තියනවද?

ඇයි නැත්තේ. සුද්ධෝදන රජතුමාගෙ සහෝදරයා අමිතෝදන. අමිතෝදනගේ දරුවා පණ්ඩුශාඛ්‍ය. පණ්ඩුශාඛ්‍යගේ දුව භද්‍රකච්චායනා. භද්‍රකච්චායනාගේ දුව උන්මාද චිත්‍රා. චිත්‍රගේ පුතා පණ්ඩුකාභය. පණ්ඩුකාභයගෙ පුතා මුටසීව. මුටසීවගෙ පුතා දේවානම්පියතිස්ස. දේවානම්පියතිස්සගෙ සහෝදරයා මහානාග. මහානාගගේ සහෝදරයා යටාලතිස්ස. යටාලතිස්සගෙ සහෝදරයා ගෝඨාභය. ගෝඨාභයගේ පුතා කාවන්තිස්ස. ඒ කියන්නේ මගේ පිය රජතුමා.

04. ඔබ රාජ්‍යය බලය අවභාවතාවේ යොදවල ඉඩම් ලබාගෙන තියනවා?

මම දන්නවා ඔබ බලාපොරොත්තු වෙන පිළිතුර. ඇත්තම කිව්වොත් ඒ ඉඩම නගරාශ්‍රිත ආගමික සංහිඳියාව තර කිරීමේ අමාත්‍යංශයට අයිති එකක්. ඒත් ඒ ඉඩම ස්වර්ණමාලී වෘක්ෂ දේවතාවිය බදු අරගෙන හිටියේ. එතනදී සිදුවුණේ ඇයව එම භූමියෙන් ඉවත් කර ඉඩම නැවත රජයට ලබාගැනීමත් පමණයි. ඉඩම කිව්වට ඇය හිටියේ ඒ ඉඩමේ තිබුණ තියඹු ගහත් අරක්ගෙන.

05. ඇයව ඉවත් කිරීමට ගත් පියවර නීත්‍යානුකූලද?

මුලින් ලිඛිතව දැනුම්දුන්නා. බැරිම තැන රාජ පුරුෂයෝ ලවා බිය කරල බැලුවා.

06. බය කරලා? ඒ කොහොමද?

බිමට වඩින් – බිමට වඩින්
ස්වර්ණමාලී කුමාරියේ
ඔන්න ගොර බිරන් රකුසෝ
ළඳු කැලෑ බිඳන් එනවෝ
රර රර රර රර ඉරරෝ
රර රර රර රර ඉරරෝ… කියලා. ඒත් හරි ගියේ නෑ. ඊට පස්සෙ මම කිසිම හේවායෙක් නැතුව තනියම ගිහිං වැඩේ ගොඩදාගත්තා.

07. තනියම ගිහිං? ඒ කොහොමද? ඒකත් විස්තර කරන්න.

මම ගිහිං කිව්වා.

ඔබේ නමින් සෑය බඳිමි – විමානයෙන් වඩිනු මැනවි
ස්වර්ණමාලියේ – රූබර ස්වර්ණමාලියේ
කියලා. ඇය එය පිළිගෙන තියඹු ගහෙන් බැහැලා ගියා. මම පොරොන්දු වුණ විදියට ඇගේ නම චෛත්‍යයට දැම්මා.

08. මොකද්ද කන්ට්‍රක්ෂන් කම්පැණි එක?

මම ඇත්තටම මීට වඩා සංකීර්ණ ප්‍රශ්ණ මගෙන් අහවී කියලා බලාපොරොත්තු වුණා. මේ පස්, ගල් ඇතුලෙ තියෙන්නේ නුවර කලාවියේ මිනිස්සුන්ගෙ දාඩිය, කඳුළු, සිනහව, ලේ, බලාපොරොත්තු, සිහින, ඉලක්ක, බුද්ධාලම්භන ප්‍රීතිය, සහයෝගය. ඒවා ඔබ ඔය කියන කන්ට්‍රක්ෂන් කම්පැණිවලින් ගන්න පුළුවන්ද?

09. ඒ කියන්නේ නියම වෘත්තීය පලපුරුද්ද තියන මිනිස්සු නෙවෙයි මේ සඳහා සහභාගී කරගෙන තියෙන්නේ. ඒ නිසා නේද හත්පාරක් ගිලා බැස්සේ?

මේ ඇතුලෙ නිධන් කරල තියෙන්නෙ සර්වඥ ධාතූන් වහන්සේලා. ආගමික ස්මාරක, ස්ථූප වලට වෘත්තීමය පසුබිමක් නෑ. ද්‍රව්‍යවාදී විදියටම හිතන්න එපා. රුවන්වැලි සෑය කියන්නේ මේ රටේ සංස්කෘතියෙ කොටසක්. ආගම් භේදයකින් තොරව මිනිස්සු එතනට එනවා. වෘත්තීය නිපුණත්වය කියන්නෙ සුදුසුකමක් වුණාට අධ්‍යත්මික ගුණවගාව කියන්නේ සුදුසුකමක් නෙවෙයි. ඊට එහා ගියපු දෙයක්.

10. ඔබේ රාජ්‍ය කාලය. ඒ කියන්නේ ක්‍රි.පූ.161-137 තුළ රාජ්‍යය පත්වීම් කීයක් දීලා තියනවද?

ගණනය කරල හරියටම කියන්න බෑ. ඒ කාලේ මැතිවරණ ප්‍රශ්ණ, ආසනගත දේශපාලන නොතිබුණ නිසා වන්දි බට්ටයන්ට අවස්ථාවක් ලැබුණෙ නෑ.

11. ද්‍රව්‍යවාදී විදයට නැතුව සංස්කෘතික විදයට හිතුව කියමුකෝ. කොහොම හිතුවත් මේ ස්ථූපවල වැඩකරන මිනිස්සුන්ට ගෙවන්න ඕන.

ඔව්. මම අදාළ රැකියාවට අදාළ වෙන විදියට ගෙවීම් සිදුකරා. රුවන්වැලි සෑයේ සැලැස්ම පිළියෙල කළ චිත්‍ර ශිල්පියාට වටින සුලු සහලත්, ඊළඟට සැරසිලි කරපු පාවහන් ජෝඩුවක් එහෙමත් දුන්නා.

12. එතකොට ලෝවාමහපාය?

මගේ මතකෙ හැටියට ‍දොරටු හතරේ හරඤ්ඤ 400,000 තිබ්බා කම්කරුවන්ගෙ වැටුප් විදියට.

13. හිරඤ්ඤ කියන්නේ මොකද්ද?

කහවණු අටක් හිරඤ්ඤ එකයි.

14. ඔබ කියනවා එක් ‍දොරටුවක හිරඤ්ඤ 100,000 බැඟින් ‍දොරටු හතර් 400,000 තිබ්බා කියලා. ඒත් මහා වංශයෙ සඳහන් වෙන්නේ 800,000 එක ‍දොරටුවක තිබ්බා කියලා. මෙතනදී මුදල් අක්‍රමිකතාවක් සිදුවෙලා තියනවා නේද?

මහාවංශය එහෙම කිව්වට ටීකාවහඛ්‍යාතයේ තියෙන්නෙ මම කිව්ව ගණං.

15. ඔබ තමයි අපේ රටේ තියන උතුම්ම ගුණයක් වන වැඩිහිටියන්ට සැළකීම කියන හොඳ පුරුද්දට අභියෝග කළ පළවෙනි රජතුමා.

ඒ පාර මොකද්ද මේ නගන චෝදනාව?

16. ඇයි අමතකද පියාට කාන්තා ඇඳුම් එව්වා?

(සිනාවකින් පිළිතුරු දෙයි)

17. ඇයි ඔබට මහාවංශය මේ තරම් තැනක් දෙන්නේ?

ඔබට හිතෙන්නේ එහෙමද? මට නං හිතෙන්නේ මම මේ රටට කරපු සේවය කියන්න ඒ ඉඩ මදි කියලා.

18. ඔබේ මරණය අභිරහසක්. මේ තරම් ගුණ වයන මහාවංශය පවා ඔබේ මරණය හංඟනවා. ඇයි ඒ?

මිනිහෙක්ගෙ මරණය රස කර කර ලේඛණගත කරලා වැඩක් තියනවද? කෙනෙක්ගෙ මරණයෙන් රටට සමාජයට ඇති වැඩේ මොකද්ද?

19. ඔබත් නැවත එය හංඟනවා. ඔබට හත් වතාවක් නාගයෙක් දෂ්ඨ කරනවා. ඒ තරම් පලිගැනීමක්? ඇයි ඒ?

ඉතිහාසය සඳහන් කරන්නේ මම මියගියේ උග්‍ර විෂක් ශරීරගත වීමෙන් කියලා නේද? එහෙනම් ඔබට එයින් සෑහීමකට පත්වෙන්න සිදුවෙනවා. ඒ කතා වැඩක් නෑ. වර්ථමානයට දුටුගැමුණු කියන්නේ විහිලුවක්ද?

20. ඇයි ඔබ එවැනි ප්‍රශ්නයක් අහන්නේ?

ඔබලා මර්විල් සිල්වාටත් කියන්නෙ දුටුගැමුණු කියලනේ. ඒ විතරක්ද? හිටපු ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායකත් කියලා තිබුණා පත්තරේකට දුටුගැමුණු හිටියනං එයා අනිවාර්්‍යයෙන්ම එක්සත් ජනතා නිදහස් සංධානය සමඟ ඉන්නෙ කියලා. මොනවද මේ වෙන්නේ? කොහොමද එහෙම ප්‍රකාශ නිකුත් කරන්නේ?

21. එළාරයි ප්‍රභාකරනුයි ළඟ තිබ්බොත් කවුද හොඳ?

එළාර. ඒක අවිවාදාත්මකයි. ප්‍රභාකරන්ට වගේ මන්ද මානසිකභාවයකින් නෙවෙයි ඔහු රට පාලනය කරේ. එළාර, පුතාටත් දඬුවම් කරපු පාලකයෙක්. එයාගෙ අශ්ව කරත්තෙට සතෙක් යටවුණ වෙලාවෙදි.

22. එච්චර හොඳනං ඇයි යුද්ධ කරලා එයාව පැරැද්දුවේ?

(සිනාවකින් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරයි)

23. උතුරින් ගොලු මුහුද, දකුණින් හැඩි දෙමලු, ඉතිං මං කොහොමද අත පය දිග ඇරලා නිදාගන්නේ? මේ ප්‍රකාශය ඔබේ. මගේ ප්‍රශ්නය හැඩි දෙමලු කියන වචනය සම්බන්ධයෙන්?

ඔබ ඔබ ප්‍රශ්නය අහන්නේ මම උෟ ජාතිවාදියෙක් කියන අදහස ඔලුවෙ තියාගෙන නේද? මතක තියාගන්න මම එළාරටත් චෛත්‍යයක් හදලා ගරු කරපු රජකෙනෙක්. ඔබ ඔය කියවන ඉතිහාස පොත්වල තියෙන්නේ රචකයාගේ මානසිකත්වය අදාළ සිදුවීම් සමඟ මුසුවී ලේඛනගත වීමක් විනා මම ඒ සිදුවීම දැකපු කෝණය නෙවෙයි.

24. මෙම ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දුටුගැමුණු රජතුමා එළියට පැමිණි අතර රැස්ව සිටි මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ප්‍රකාශ නිකුත්කර තිබුණි.

මේක මහ විකාර ආයතනයක්. කිසිම නීත්‍යානුකූලභාවයක් නෑ. අපි මේ රටට කරපු සංවර්ධන මෙහෙයුම් අඩු තක්සේරුවකින් ගණනය කරලා. ඉදිරියටත් මේ වගේ ප්‍රශ්ණ කිරීම් සිදුවුනොතින් ජනතාව පෙලගස්වලා විරෝධතා පෙලපාලියක් රුවන්වැලි සෑයේ ඉඳලා කොළඹට ගෙන්නනවා.

සුපුන් රත්නායක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s