මාව ඇතුලට දාන්න එපා – ශ්‍රී වික්‍රම රාජසිංහ හඬා වැටෙමින් කියයි.

F.C.I.D එකට ලැබෙන ෆයිල් ගාණ අනන්තයි අප්‍රමාණයි. කොහොමත් මේ ඔක්කොම විභාග කරලා ඉවර වෙන්නනං තව අවුරුද්දක්වත් යනවා. ඒත් අපේ ප්‍රවීණ ගායක ඇන්ටන් රොද්‍රිගෝ ගීතමය පැමිණිල්ලක් එවලා තිබුණා. ඒකේ තිබුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා – අම්මා සමඟ දරු තුන්දෙනෙකුට මරණය හිමි කරා කියලා. බලද්දි මද්දුම බණ්ඩාරගේ කේස් එක. ඒක පසුවට විභාග කරනවා කියලා හිතාගෙන ශ්‍රී වික්‍රම රාජසිංහට එන්න කියලා පණිවිඩයක් යැව්වා. දවස් දෙකක් ගියේ නෑ කන්නසාමි කියලා ඩයල් එකක් අපිව හම්බවෙන්න ආවා. පෙනුමෙන් ජයසිරිගේ අයියා වගේ. ගේට් එකෙන් කන්නසාමි කිව්වට මුල දී එන්න දීලා නෑ. පස්සේ අපිට කෝල් කරලා තමයි ඇතුළට ගෙන්න ගත්තේ. ඇත්තටම මේ කන්නසාමි කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට. සියල්ල දැන් මුල ඉඳලා අහගමු.

ලංකාවේ අන්තිම රජතුමා යන නාමයට අමතරව ඔබ ඉතිහාස ගත වෙන්නේ එතරම් සුබදායක ලෙස නො වෙයි නේද?
ඔබ ව්‍යංගාර්ථයෙන් කියන්නේ මොනවා ද කියලා මම දන්නවා. බලය තර කරගැනීම හා බලය පවත්වාගෙන යාම සඳහා අදාල පාර්ශවයන්ගේ හැසිරීම් පිළිබඳව මැකියාවලිගේ “ද ප්‍රින්ස්” කියන පොතෙත් සඳහන් වෙනවා. අමතක නම් ආපහු කියවන්න ඒ පොතේ තියන බලය සම්බන්ධ ගුණාංග තුන.
1. බලය අල්ලා ගැනීම.
2. බලය ව්‍යාප්ත කිරීම.
3. බලය තහවුරු කිරීම.

මැකියාවලි පොත ලියන්න කලින් ඔබ මේ දේවල් කරේ?
පැහැදිළිවම ඔව්. අයිසෙක් නිවුටන් ගුරුත්වාකර්ශනය හොයාගන්න කලිනුත් ඇපල් බිමට වැටුණා. නමුත් ඔහු හොයා ගත්තා එහෙම වෙන්නේ ගුරුත්වාකර්ශනය නිසා කියලා. මැකියාවලි පොත ලියන්න කලින් මගෙන් විතරක් නෙවෙයි තව ඕන තරම් රජවරු සිටුවරු අතින් බලය සම්බන්ධ කාරණා ඒ ආකාරයෙන් ම සිදු වුණා. නමුත් මැකියාවලි එහෙම වෙනනේ ඇයි කියලා හොයා ගත්තා. ඒ සම්බන්ධයෙන් මගේ පැහැදිළි කිරීම ප්‍රමාණවත් කියලා විශ්වාස කරනවා.

රජෙකුට අන්ත–පුරයක් ඕනම ද?
හරි මඟුලක්නේ මේක. ඒ ප්‍රශ්නේ මගෙන් අහලා හරියනවා ද? මම මේ රටේ අන්තිම රජතුමා. ඒක අහලා උත්තර ගන්න ඕන විජය රජතුමාගෙන්. විජයගෙන් පටන් අරගෙන හැමෝගෙන්ම අහන්න.

මේක මේ නිකමට අහන්නේ. අදාල ප්‍රශ්නෙකුත් නෙවෙයි. කොටින්ම කිව්වොත් මගේ දැනගැනීම පිණිසම පමණයි.
හරි. ඉතින් අහන්න.

අන්ත–පුරේ පැත්තේ රවුමක් ගහලා ආවම අගබිසව බුම්මගෙන ඉන්නේ නැද්ද?
මල්ලිට එහෙම ප්‍රශ්න තියනවා වගේ. මටනං එහෙම කිසි අවුලක් නෑ. බුම්මගෙන හිටියොත් බිසව මාරු කරනවා.

ඔබ රජ වෙන්න හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්. ඇත්තටම කිව්වොත් පිං රජකමක්?
ඔය ප්‍රශ්නේ මම කොටස් දෙකකට බෙදනවා. මම පිං රජා නම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඡන්ද හත්දාස් ගාණක් අරගෙන ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා ඉන්නේ. ඇමතිකමකුත් කරන්නේ. තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා. ඒ අයත් ඉන්නේ එහෙනං. ආ… මට දැන් මතක් වුණේ. ච්.ඕ. විජේතුංග ජනාධිපතිතුමාත් ඉන්නේ.

අනිත් ඔක්කොම හරි කියමුකෝ. ච්.ඕ. විජේතුංග කොහොම ද පිං ජනාධිපති කෙනෙක් වෙන්නේ?
මම මේ කියන ඒවා වැරදි ඇති. ඒත් කතාවක් තියනවා විජය දිනුවා කියලා.

ඒ මොකද්ද ඒ? ඔබ ඔය සඳහන් කරන්නේ මොන විජය ගැන ද?
මම කියන්නේ ච්.ඕ. විජේතුංග ගැන. රංජන් විජේරත්න. විජය විමලරත්න, විජය කුමාරතුංගට කරන්න බැරි වුණ දේ එයා කරගත්තා. අන්තිමේ දී විජය දිනුවා. මොකද ඒ වගේ තමයි.

එතකොට ඔබට ලැබුණු මුල්ම නම කන්නසාමි කියන එක ද?
ඔව්. ඒ නම තිබ්බෙත් රජතුමා.

ඔබ රාජ්‍යත්වයට පැමිණෙන්නේ කොහොම ද?
එක දවසක් මහ අදිකාරම් අපේ ගෙදර ඇවිත් ඉන්න වෙලාවේ රජතුමාත් ආවා. මහඅදිකාරම්ගේ පිලිකන්න පැත්තෙන් හෙමීට පිටත් කරලා ‍ෙදාර වහනකොට ම රජතුමා මගේ ළඟ. රජතුමාට සැක හිතිලා. ඔහු මගෙන් විමසුවා කවුද ආවේ කියලා. මම ඒ වෙලාවේ කපටි උත්තරයක් දුන්නා. මම කිව්වා කවුරු හරි ආවා වගේ දැක්කා. හරියටම අඳුරගන්න බැරි වුණා. මමත් මේ ඒකයි පිලිකන්න පැත්ත සෝදිසි කරේ කියලා.

ඔබ කොහොම ද ඒක කපටි උත්තරයක් කියලා විග්‍රහ කරන්නේ?
මගේ ජීවිතේ වෙනස් වුණේ ඒ හරහා. මම ඒ වෙලාවේ මහ අදිකාරම්ගේ නම කිව්වා නම් ඔහු හෙට ඉර පායනකොට ම පරලොව යවලා ඉවරයි. මෑණියන්ට තිබුණ බලවත් ආදරය නිසා ඇයට දඬුවම් නො කොට රජතුමා මඟුල් කඩුව මට දීලා කිව්වා කවුරු වුණත් කමක් නෑ එන කෙනාගේ හිස ගසා දමන්න කියලා. මම මේ බව මෑණියන්ට කිව්වේ නෑ. ඇය කලබල වෙන නිසා. මහඅදිකාරම්ට නං මේ සිද්ධිය සැල කර සිටියා.

ඔහු කොහොම ද එයට ප්‍රතිචාර දැක්වූයේ?
මහඅදිකාරම් මට කිව්වා රජතුමා මරන්න කියලා. එහෙම කරොත් මට රජකම ලබා දෙන බවටත් ඔහු පොරොන්දු වුණා. ඔහු මට කිව්වා මේ රජතුමා ජීවත්වුණොත් කාලයාගේ අවෑමෙන් අගබිසවගේ සොහොයුරාට ඒ කියන්නේ මුත්තුසාමිට රජකම ලැබෙනවා. අපි ඉක්මන් වෙමු කියලා.

මොන වගේ සැලැස්මක් ද දියත් කරේ?
මහඅදිකාරම්ගේ අධීක්ෂණය යටතේ මම මෙහෙයුම දියත් කරා. රජතුමා හැමදාම අපේ ගෙදරට ආවේ අශ්වයාගේ පිටින්. ඒ නිසා අතරමඟ පුංචි ඇල පාරක් තියනවා. මේ ටික එන්නේ පයින්. එන අතරමඟ එක කඩු පහරින් ඔහුව මරණයට පත් කරන්න ඕන. එවිට අශ්වයා කලබල කර අසු පිටින් වැටී තම මඟුල් කඩුවට ඇණී මරණයට පත්වූවා යැයි සමාජගත කිරීම තමයි උපාය.

කොහොම ද එහෙම වුණේ? මොකද්ද ඒ වගේ තමයි කියන්නේ?
රාජාධිරාජසිංහ රජතුමාට නායක්කාර් වංෂික බිසෝවරු තුන්දෙනෙක් හිටියා. දෙවනි බිසවගේ නංගී වාසය කරේ මල්වත්ත පන්සල පල්ලෙහා පුංචි මන්දිරයක. ඒ දවස්වල ඉඳලාම රජතුමා මේ කුමරිය සමඟ ඇයි හොඳයියක් පවත්වලා තියනවා. මේ බව කිසිම කෙනෙක් දැනගෙන ඉඳලත් නෑ. හැබැයි ඒ දවස්වලම පිළිමතාලව මහ අදිකාරම සමඟත් ඇය ආදර සම්බන්ධයක් පවත්වලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මම උපදින්නේ. රජතුමා හිතුවේ මම එයාගේ දරුවෙක් කියලා. ඒත් ඇත්තටම මම කාගෙ ද කියලා දන්නේ පිළිමතලාවේ අදිකාරම, මගේ මව හා මම විතරයි. මම විතරක් නෙමෙයි මෑණියනුත් වැඩි කැමැත්තක් දැක්වූවේ පිළිමතලාවේ මහ අදිකාරම්ට.

මේ සියල්ල එලෙසම සිදු වුණා. රජතුමාගේ දේහය ඇල ළඟ තබා අශ්වයාගේ රැහැන් ලිහා දමා පන්නා දැමුවා. උදෑසනින්ම මහඅදිකාරම රජමාලිගයට ගොස් සිද්ධිය පවසා රහසිගතව දේහය මාලිගාවට ගෙනාවා.

ඊට පස්සේ මොකද වුණේ?
මහඅදිකාරම්තුමා සියලු අදිකාරම්වරුන්ට සංදේශයක් යැව්වා රජතුමාට අසාධ්‍යයි රජකමට සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා පසුදින මඟුල් මඩුවේ පැවැත්වෙන රාජසභාවට පැමිණෙන ලෙසට. මුලසුන දැරුවේ මහඅදිකාරම්තුමා. රජකමට සුදුස්සෙකු තෝරා ගැනීමේ දී මහඅදිකාරම් මගේ නම යෝජනා කරා. එවිට අනිත් අදිකාරම්වරු මගේ සුදුසුකම් විචාල අවස්ථාවේ දී අදිකාරම්තුමා මේ කුමාරයා රජතුමාගේ බවත් මව ද ක්‍ෂත්‍රීය වාංශික කුමාරිකාවක් බවත් පැවසුවා. තව මාගේ ඇති සිංහල භාෂා හැකියාව හා මල්වතු පන්සල ආශ්‍රයෙන් ලද හික්මීම ගැනත් සඳහන් කළා. හැමදෙනාගේම පැසසුම මැද මම ඊට පසුදින ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ වුණා. ඉන්පසු රාජාධිරාජසිංහ රජතුමාගේ මරණය ප්‍රසිද්ධ කරලා ගෞරවයෙන් ආදාහනය කළා.

මේ තරම් දෙයක් කරපු මහඅදිකාරමත් අන්තිමට මැරුවා නේද?
මම කාගෙවත් රූකඩයක් නෙවෙයි. බලය තියෙන්නේ මට. ඒ ප්‍රශ්නෙට උත්තරෙත් මැකියාවලිගේ බලය සම්බන්ධ විග්‍රහය තමයි. ඔහු හැදුවේ මාව ඉත්තෙක් කරගන්න. මම ඒ බන කල්තියාම දැනගෙන හිටියා. අවස්ථාව ලැබුණ ගමන් ප්‍රතිචාර දැක්වූවා.

මද්දුම බණ්ඩාරගේ කතාව වෙනම අහන්න ඕන. හරි මට කියන්න මේ ඔක්කොම වෙලා රජකම් කරලා අන්තිමේ දී අහුවුණේ කොහොම ද?
මං ඇහැලේපොලගේ ෆැමිලි එකට ගේම දුන්නට කිපිලා හිටිය ඇහැලේපොල මහඅදිකාරම් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ද සමඟ මාව අල්ලන්න නුවරට ආවා. මොල්ලිගොඩත් මේ වෙනකොට බ්‍රවුන්රිග්ගේ ඇම කාලා හිටියේ. ඒ නිසා සත්කෝරලේ ඉංග්‍රීසි පාලනයට අදාල විදියට තමයි කෙරුණේ. මම වැඩේ දෙල් වෙනවා කියලා දැනුණ ගමන් උඩුදුම්බර කියන උමගට ගියා. ඒක මාර ගමනක්. උමග ඉදිරියෙන් ඇලක් යනවා. මම එතන්ට ගිහිල්ලා මන්තරේ කියලා බලාගෙන හිටියා. ඇල ගලන එක නතර වෙලා ලෙන් ‍ෙදාර ඇරුණේ නෑ. පස්සේ මම බෝමුරේ ආරච්චිලාගේ ගෙදර දවස් දෙකකට නතර වුණා.

ඊට පස්සේ?
බෝමුරේආරච්චි මාව හොඳට බලාගත්තා. ඒත් අන්තිමේ මොල්ලිගොඩට අහුවුණා. උන් මට ඊට පස්සේ සැලකුවේ රජෙකුට සලකන විදියට නෙවෙයි. අම්මපා මම මේ ඇත්ත කියන්නේ. තනිකරම කරේ දේශපාලන පලිගැනීම්. මාව බිම දාලා පෑගුවා.
රාජසිංහ කඳුළු පෙරමින් හඬා වැටෙන්න පටන් ගත්තා. ඒ අපිව අන්දවන්න ද ඇත්තටම ද කියලා දන්නේ රාජසිංහම විතරයි. ඉදිරි ප්‍රශ්න කිරීම් දින 7කින් කල් දැම්මා.
සුපුන් රත්නායක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s