කරුණාකර ඉතිහාසය නිවැරදි කරන්න – ඇහැලේපොල කුමාරිහාමි

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඇහැලේපොල කුමාරිහාමි සමඟ දරුවන් තිදෙනා බෝගම්බර දී ඝාතනය කළ බව සුප්‍රසිද්ධ පුවතකි. මද්දුම බණ්ඩාර වීරයෙකු වන්නේ ද ඒ අවස්ථාවේ සිට ය. මේ සමූල ඝාතනයට හේතුව ඇහැලේපොල අදිකාරම රජුට විරුද්ධව ඉංග්‍රීසි සේනාංක සමඟ සටන් සංවිධානය කිරීම ය. රාජද්‍රෝහියෙකු අල්ලා ගැනීමට අපහසු වූ විට ඔහුගේ අඹුදරුවන්ට දඬුවම් කිරීමේ බලයක් නීත්‍යනුකූලව සිංහල රජවරුන්ට ලැබී තිබුණි. මේ සියල්ල සිදු වී හමාර ය. එහෙත් නැවත එම අතීත කතාව හාරා ඇවිස්සීමට සිදු වූයේ, හදිසියේම මද්දුම බණ්ඩාරගේ මව F.C.I.D පැමිණි නිසා ය.

ඔබට ඔබව හඳුන්වා දෙන්න පුළුවන් කොහොම ද?
මම මාතලේ මොණරවිල දිසාවගේ දියණියක්. 1817 ඉංග්‍රීසින්ට විරුද්ධව දියත් කළ වෙල්ලස්සේ කැරැල්ලේ සිටි වීර කැප්පෙටිපොල දිසාවගේ සොහොයුරියක්. ඇහැලේපොල අදිකාරම්ගේ බිරිඳ. වීර මද්දුම බණ්ඩාර පුතණුවන්ගේ අම්මා. ඒ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා හිතනවා.

ඔබේ සැමියා රටට වීරයෙක් වුණාට, බිරිඳව හා දරුවන් තිදෙනාම මරණයට පත් කරන කල් එළියට ආවේ නෑ. ඔහු හොඳ ස්වාමි පුරුෂයෙක් ද? ඔහු හොඳ පියෙක් ද?
පැහැදිළිව ම ඔව්. ඔහු සැමියෙකු හැටියට පැවරී ඇති යුතුකම් වගකීම් හා බිරිඳට ලබා දිය යුතු ගෞරවය නො අඩුව ලබා දුන් කෙනෙක්. පියෙකු ලෙසත් ඔහු තමාගේ සියලුම දේ දරුවන්ට ලබා දුන්නා. එවැනි සැමියකුට කළ හැකි උපහාරය මා කළා.

මොකද්ද ඒ උපහාරය?
රජු සමඟ යහන්ගත නො වී ඇහැලේපොල නිලමෙගේ පතිනිය ලෙස ගෞරවයෙන් මිය යාම.

මොකද්ද ඒ කතාව? ඉතිහාසය බොරු කියල ද? එහෙම නැත්නම් ඔබ බොරු කියන්න උත්සාහ කරනවා ද?
ඉතිහාසයේ මේ කතාව දන්නේ බොහොම ටිකදෙනයි. ඒ අයත් රජුට බයේ කට වහගෙන හිටියා. ඉතින් ඔබ මේ කියවන ඉතිහාසයේ තියෙන්නේ මගේ සැමියා, ඒ කියන්නේ ඇහැලේපොල අදිකාරම ඉංග්‍රීසි ආණ්ඩුකාරයා සමඟ එකතුව රජුට විරුද්ධව කැරලි ගැසූ බව පමණයි. නමුත් මට හා දරුවන්ට දඬුවම් පැමිණවීමට වෙන හේතුවක් තිබුණා.

මොකද්ද ඒ හේතුව?
1803 දී මහනුවර රජුට විරුද්ධව ඉංගී්‍රසින් දියත් කළ කැරැල්ලෙන් ඔවුන් සමූල ඝාතනය වුණා. අපේ රජතුමා මෙයින් ප්‍රීති ප්‍රමෝදයට පත්වෙලා පහතරට සිටින ඉංග්‍රීසින් ලංකාවෙන් ම පලවා හරින්න යුද්ධ ප්‍රකාශ කරා. මේ අවස්ථාවට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් එකතු වුණා. දළ¼දා හාමුදුරුවන්ගේ පිහිටෙන් රුවන්වැල්ල සීතවක බලකොටු අපේ යටතට ගන්න හැකියාව ලැබුණා. ඒත් ලෙවුකේ දිසාව යටතේ පැවති හමුදාවලට හංවැල්ල බලකොටව අල්ලගන්න පුළුවන් වුණේ නෑ. රජතුමා මෙයට කෝප වෙලා ලෙවුකේ දිසාව වෙල මැද්දෙම ඝාතනය කරලා ඉතිරි සේනාව සමඟ උඩරටට ආවා. මේ එන අතරමඟ තමයි සතර කෝරලේ දී මොල්ලිගොඩ නිලමෙව මුණ ගැහෙන්නේ.

ඔබ කතාව වෙනත් අතකට යොමු කරනවා. මම ඇහුවේ දඬුවමට අපි නො දත් හේතුව?
ඉතිහාස ගත වී ඇති යමක් නව කෝණයකින් විමසීමේ දී මුල මැද අග නිවැරදිව තිබිය යුතුයි. මොල්ලිගොඩත් රජතුමා සමඟ මහනුවර ආවා. එතකොට මගේ සැමියා දෙවැනි අදිකාරම් ධූරය දැරුවේ. මොල්ලිගොඩ ඇහැලේපොල සමඟ ඉක්මණිනින් මිතුරු වුණා පමණක් නෙවෙයි ඒ හිතවත්කම උඩ අපේ නිවසට නිතරම ආවා ගියා. දිනක් ඔහු වලව්වේ කිසිවෙකු නැති අවස්ථාවක මා හමු වී ඔහු මා හට ආලය කරන බවත්, ඔහුගේ කාම ආශාවන් සංසිඳුවා ගැනීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් අයැද සිටියා. මම ඔහුට කරුණු වටහා දීමට කොතෙකුත් උත්සාම ගත්තත් හරි ගියේ නෑ. අවසානයේ ඔහුව වලව්වෙන් නෙරපා දැම්මා. නැවත මේ දිසාවේ පස් පා නො ගන ලෙසට.

ඔහු රජුට මේ බව පවසා ඔබට සහ දරුවන්ට දඬුවම් කරා ද?
එහෙම කරන්න පුළුවන් ද ඔහුට? මගේ සැමියා  රජුට ඊට වඩා ළඟයි. අනික කටත් ඇරලා කාටවත් කියන්න පුළුවන් ද ඔහුට, තමාට වුණ ලැජ්ජාව. මේ දේවල් වුණ කාලෙම තමයි මඟල් මඬුවේ උත්සවේ පැවතුණේ. මම ඇහැලේපොල සමඟ ඒ අවස්ථාවට සහභාගී වුණා. රජතුමා අපට පුදුමාකාර ලෙංගතුකමකින් සැලකුවේ. පිළිමතලාවේ මහ අදිකාරම රාජ විරෝධී ක්‍රියාවක් සිදු කර, රාජ උදහසට ලක් වී හිස ගසා දැමීමෙන් අනතුරුව මගේ සැමියාට මහ අදිකාරම් ධූරය ලැබුණා.

ඔබ කියන්නේ රජු මේ හැමදේම කරේ ඔබ ලබාගැනීමේ අරමුණින් කියලා ද?
ඔව්. ඇහැලේපොලට වඩා පැරණි අය සිටියා. මොල්ලිගොඩ ඇතුළු බොහෝ දිසාපතිවරුන් මීට විරුද්ධ වුණා. ඒත් රජතුමා ඒ කිසිවක් කනකට ගත්තේ නෑ. සන්නස් පත්‍ර ප්‍රධාන උත්සවය ජයටම මඟුල් මඬුවේ දී පැවැත්වුණා. රජතුමා ඒ අවස්ථාවේදීත් මා සමඟ බොහෝ වේලාවක් කතා කරා. අපගේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ හැකි සියල්ල ඉටු කරන බවට පොරොන්දු වුණා. ඒත් මට ඔහු පිළිබඳව සැකයක් ඇති වුණේ නෑ.

මේ වන විට ඇහැලේපොල අදිකාරම මොල්ලිගොඩ ඔබට ගෙනා අවිනීත යෝජනාව ගැන දැනගෙන හිටියා ද?
ඔව්. දිනක් “දැන් මොල්ලිගොඩ වලව්වට එන්නෙ නැත්තේ ඇයි?” කියා විමසූ විට මා සියල්ල නො වලහා ප්‍රකාශ කළා. එයින් පසු ඇහැලේපොල අදිකාරම මොල්ලිගොඩ සමඟ බොහෝ සෙයින් උරණ වුණා. මේ බව දැනගත් මොල්ලිගොඩ රජුට, ඇහැලේපොල අදිකාරම පිළිබඳව කේලම් කියන්න පටන් ගත්තා. රජතුමා මෙයින් ප්‍රයෝජන ගත්තේ හරිම අපූරු විදියට. ඔහු අදිකාරම ගෙන්නලා රටේ පැතිරී යන ආරංචි පිළිබඳව දන්වා ටික කාලයකට සබරගමුවට ගොස් ගොවිතැන් දියුණු කරන ලෙස දන්වා සිටියා. ඇහැලේපොල අදිකාරම එය සතුටින් භාරගෙන සබරගමුවේ බටුගෙදර නැවතීමට ගියා.

දැන් ඔබ කියන්න හදන්නේ රජතුමා ඒ අවසරයෙන් ඔබව ළං කරගන්න උත්සාහ කරා කියලා ද?
ඔව්. දිනක් රාත්‍රී නමයට විතර රජතුමා වලව්වට ඇවිත් අතිශය වැදගත් පණිවිඩයක් කීමට ඇති බව පවසා සේවකයන් විසින්ත කාමරයෙන් පිට කරන ලෙස දැන්වූවා. ඉන් අනතුරුව රජතුමා තම පහත් කාම චේතනාවන් මුදුන්පත් කරන්න බොහෝ උත්සාහයක් ගත්තා. බැරි ම තැන දාසයන් ලවා ගස් බැඳ නිලමේවරුන්ට දන්වන බව පැවසීමෙන් පසු ලැජ්ජාවට පත් ව යන්න ගියා. මේ අතර මොල්ලිගොඩ රජුට කේලම් කියා ඔහුව කෝපයට පත් කරා. මා ලබා ගැනීමේ තිබූ ආශාව ව්‍යර්ථ වීම නිසා හටගත් කෝපයෙන් රජු අපට දඬුවම් පැමිණෙව්වා. අපි සිරභාරයේ ඉන්න විට දී පවා රජු මේ අයුතු යෝජනාව නැවත ගෙන ආවා. ඒත් මම කැමති වුණේ නෑ.

ඔබට හිතුණේ නැද්ද පතිවෘත්තාවට වඩා දරුවන්ගේ ජීවිතය වටිනවා කියලා?
හිතුණා. ඒත් රජතුමා මේ වෙනකල් හැසිරුණ කපටි ආකාරය නිසා මම දන්නවා මුලින් රහසිගතව ප්‍රයෝජන ගෙන අනතුරුව දඬුවම් පමුණු වන බව.

ඊට පස්සේ මොකද වුණේ?
ප්‍රසිද්ධියේ මා ඇතුළු දරු තිදෙනා ඝාතනය කරා ඉතා ම සාහසික විදියට.

ඒ අවස්ථාවේ දී මද්දුම බණ්ඩාර හැසිරුණේ කොහොම ද?
මද්දු කොහොමත් තාත්තා වගේ. කිසිම දෙයකට බය නෑ. අයියා වදකයා දැකලා මගේ ඔසරි පොටේ එල්ලෙනකොට මද්දුම බය නැතුව ඉදිරියට ගිහිං “අපිට තියෙන්නේ සිංහල ලේ. නායක්කාර්වරුන්ගේ අධම ක්‍රියාවලට යට නො වී දිවි දෙමු. අයියණ්ඩිය බිය නො වන්න. මැරෙනා සැටි මා පෙන්නන්නම්” කියලා කිව්වා. මට මතකයි “මගේ හිස එක කඩු පහරින් වෙන් කරව” කියලා දංගෙඩියට බෙල්ල තිබ්බා. ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු නමයයි.

ඔබ කියන්නේ ඇහැලේපොල අදිකාරම රාජ විරෝධී ක්‍රියා සිදු කරේම නෑ. මේ සියල්ල සිදු වුණේ කලින් සඳහන් කළ සිද්ධිය නිසා බව ද?
ඉංග්‍රීසි ආණ්ඩුකාර බ්‍රවුන්රිග්තුමා කීපවිටක් තමාට සංදේශ එවූ බව සබරගමුවේ සිට මා වෙත එවූ හඳුන්පත්වල සඳහන් වුණා. ඒත් එහි අඩංගු වූයේ මොනවා දැයි මා දන්නේ නෑ. ඔහු ඉංගී්‍රසින් හා එක් ව උඩරට අල්ලා ගැනීමට මාන බලන බවට කඳුරට විශාල රාවයක් නම් ගියා. රජු ඒ බව පිළිගෙන අදිකාරම් තනතුරින් ඇහැලේපොලව අයින් කරලා මොල්ලිගොඩව පත්කරා. නායක්කාර වංශිකයන් සිංහල දේශයේ රජ කරන එකට ලොකු මනාපයක් තිබුණේ නෑ. සමහර විට ඊට විරුද්ධව නැඟී සිටන්න ඉංග්‍රීසින් භාවිතා කරා ද දන්නේ නෑ.

ඉතින් ඔබට තිබුණනේ රජතුමා සමඟ යහන්ගත වෙලා මද්දුම බණ්ඩාර, ලොකු පුතා, දුව එහෙම හොඳ ඉස්කෝලවලට දාගන්න?
මම ඒ තරං පහත් ගෑණියෙක් නෙවෙයි. ඒ වගේ ප්‍රශ්න මගෙන් අහන්න එපා.

ඔබ ඔබේ චිත්‍රපටිය බැලුව ද?
අපොයි ඔව්. මටම ලැජ්ජයි. දුලානි අනුරාධා මගේ චරිතය නිරූපණය කරන්නේ කිසිම හැදෑරීමකින් තොරව කියලයි මට හිතුණේ. දැන් ඒවා වෙලා ඉවරයි. සමහර විට ඒ දැරිවිට සල්ලි හදිස්සියක් තියෙන්න ඇති.

වලව්ව කාගේ නමටද තිබුණේ?
මගේ ස්වාමියාගේ මිත්තණියගේ නමට.

ආ… එතකොට ‘සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුණා’ ගීතය අහලා තියනව ද?
අපොයි ඔව්. මගේ ලොකු පුතා ආසම ගායකයා ඇන්ටන් රොඩ්‍රිගෝ.

හරි එතකොට මට කියන්න අද වෙනකොට අතීතයේ වුණ දේවල් ගැන සතුටු වෙනව ද?
අපොයි ඔව්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ හැම ඉතිහාස කතාවක් ම ලියවෙලා තියෙන්නේ රජතුමාට ඕන විදියට. නිකමට මහාවංශය වුණත් අරගෙන බලන්නකෝ. රජවරු විතරමයි ඉන්නේ. මිනිස්සු ඇත්තෙම නෑ. “පෙදෙන් රජ සිරිත” නිසා ද දන්නෙත් නෑ. පුළුවන්නං මේ අයාතනය හරහා ඉතිහාසය නිවැරදි කරන්න. ප්ලීස්…
සුපුන් රත්නායක

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s