ඇලපාත මුදලි F.C.I.D ය මිල දී ගනි

උදේ F.C.I.D ඇවිල්ලා වැඩ පටන් ගන්න හදනකොට අපේ කාර්යාල කාර්ය සහයකයෙක් ඇවිත් කිව්වා ඇලපාත ධම්මරතන හාමුදුරුවෝ වැඩලා ඉන්නවා කියලා. මතක ඉතිහාසයේ එහෙම නමක් නිච්චි නැති නිසා මමත් ඔහු සමඟ පහලට ගියා. කවුද මේ ස්වාමීන් වහන්සේ කියලා බලන්න. ඔහෙ පලයං… මේ ඇලපාත මුදලිනේ. ගජමන් නෝනගේ සුපෙම්වතා. සිය කැමැත්තෙන්ම F.C.I.D පරීක්ෂණවලට ඇවිල්ලා. ඒත් පුංචි ගැටළුවක් තියනවා. ඇයි කාර්යාල කාර්ය සේවකයා මොහු ස්වාමීන් වහන්සේ නමකින් හැඳින්වූයේ..

ඔබට නම් කීයක් තියනව ද?
නමක් කියන්නේ ශබ්ද අනන්‍යතාවයක්. මට එවැනි අනන්‍යතා දෙකක් තිබුණා. ඒ පැවිදි හා ගිහි කාලේ. ළමා කලයේම පැවිදි වුණ මට හැමෝම ආමන්ත්‍රණය කරේ ඇලපාත ධම්මරතන හාමුදුරුවෝ කියලා. මම සාලියාලේ ධම්මරතන ලොකු හාමුදුරුවන්ගේ ගෝලයෙක්. ධර්ම විනයට වගේම පාලි භාෂාවටත් එකල මම උපන් හපනෙක්. ඒත් තරුණ කාලයේ දී මම සිවුරෙන් මිදිලා ගිහි ජීවිතේට ඇතුළ් වුණා. ඊට පස්සේ තමයි ඇලපාත මුදලි වුණේ.

ඇයි ශාසනෙන් අෑතට ගිහිං නිවන තව දික් කර ගත්තේ?
ලන්දේසි පාලනය සම්බන්ධයෙන් මගේ ලොකු පැහැදීමක් තිබුණේ නෑ. ඒත් ඔවුන්ට එරෙහිවීමට හයියක් තිබුණෙත් නෑ. ඉතිං මම කල්පනා කරා ලන්දේසීන්ට ළං වෙලා නම්බු නාම තානාන්තර අරගෙන මිනිසුන්ට උදවු කරන්නත්, ලන්දේසි විනාස කරන්නත්. මේ රටේ දියුණුව, සංවර්ධනය, සාමය තමයි මගේ නිවන. මා එයට ළඟාවීමට හොඳම මඟ තෝරගත්තා. ඔබ කොහොම ද එතකොට මම නිවනින් අෑතට ගියා කියලා කියන්නේ? පැවිදි ජීවිතේ ඉඳන් ඒ දේවල් කරන්න අමාරුයි. ඒකයි ගිහි වුණේ.

හරියට හරි පැවිදි ජීවිතේ ඉඳන් ඒ වැඩ කරන්න බෑ.
ඔව් ඒක තමයි ඔබ මා වටහා ගැනීම පිළිබඳව සතුටු වෙනවා.

මම හිතන්නේ ඔබ වඩාත් සතුටු වෙයි මම එය පිළිගත්තොත්. ඔබට පැවිදි දිවියේ ඉඳලා කරන්න බැරි ගජමන් නෝනට කිට්ටු වෙන එක?
නෑ එහෙම දෙයක් තිබුණෙ නෑ පැවිදි කාලේ. ඒ දේ සිද්ධ වුණේ ගිහි දිවියට ආවට පස්සේ.

බොරු කියන්න බෑ මේ F.C.I.D එකට ඇවිල්ලා. අපි දුවන මුවන් කනෙන් අල්ලලා නාවන මිනිස්සු හරි ද මුදලිතුමෝ. එහෙනම් මේ කවිය ලියලා දුන්නෙ ඇයි?

දියට සතා තුම පද යුත් අයට දෙකා
නො වැඳ නිකා ගෙන දෙන සඟ පවන සුකා
නොම සලකා කෙලියට වත් සිතන එකා
තණ නොම කා බිම වැඳ බත් කන ගොනෙකා

ඔව්. ලොකු හාමුදුරුවොන්ට ඉවෙන් වගේ හැමදෙයම තේරුම් අරගෙන. ඒත් ඒ වෙලාවේ මම ඒ තීරණේ ගත්තා. මම ආවාස ගෙදර මේසේ උඩ කවියක්ම ලියලා පැවිදි දිවියෙන් නික්මුණා. ඒ කවියෙන් ලොකු හාමුදුරුවොන්ගෙ කවියට පිළිතුරක් දෙන්නයි බලාපොරොත්තු වුණේ.

පබදුන් සරණ ගියෙ නම් අසිපත රැගෙන
සිරසුන් කෙරෙමි කිව මට දෙවියකු විසින
මරදුන් ඔ’බැර දිය ඔප තිලොවක නයන
සිහිනෙන් විතර නොගනිමි අනෙකෙකු සරණ

ඒත් ඔබ ගිහි ජීවිතේට ඇතුළ් වෙලා ටික කාලෙකින් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තා විතරක් නෙමෙයි තානාන්තරත් ගත්තා.
ඔව් මාව ලන්දේසින් විසින් අලුත් කූරු කෝරලයේ දිසාපති කරා. ඊටපස්සේ ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තා. ඒ හැම දෙයකින්ම ලැබුණ දෙයින් ජනතාවට සේවය කරා. ඒ බව ජනතාව දන්නවා.

ඔබට තවම ගජමන් නෝනා එක්ක ඇයි හොඳයියක් පැවිදි ජීවිතේ දි නො තිබුණා කියන්න සාක්ෂි මදි?
දැන හැඳුනුම්කමක් තිබුණා. ඒත් එක ආදරයක් නෙවෙයි. මම ඇයව අඳුර ගත්තේ භික්ෂුවක්ව සිටි සමයේ දි තමයි. වේරගම්පිට පන්සලේ වැඩ වාසය කරපු කරතොට අනුනායක හාමුදුරුවෝ පාලි භාෂා ප්‍රවීණයෙක්. ඇය නිතර එහි ආව ගියා භාෂාව උගැනුමට. මමත් කරතොට ධර්මාරාම හාමුදුරුවෙන්ගෙන් පස්සේ පාලි භාෂාව ප්‍රගුණ කරන්න වේරගම්පිට පන්සලට වැඩියා. ඒ අවස්ථාවේ දී තමයි මට ඇය මුණගැහුණේ.

ඔබ ඔබේ ගුරු හිමියන් වූ කරතොට ස්වාමීන් වහන්සේ ගැන පවා වැරදියට හිතුවා.
වැරදියට හිතුව කියලා කියනවට මම අකමැතියි. ඒ වෙලාවේ හිතුණ දේ මම මෙහෙම ලිව්වා.

මුනි පුතුන් ඇසුරු සිප් සත දත් රුවැතී
ගජ නමින් පතල අඟනක් ළඟම ඇතී
හැම කතුන් ගේම සිරිතක් වූ පැවතී
හොර හිමියන් ගැනුම අත් නෑරම කරතී

මම මේ කවිය ගජමන් නෝනට ලැබෙන්න සැලැස්සුවා. ඇය හොදාකාරවම දන්නවා මම මේ කියන්නේ කා ගැන ද කියලා. ඇය ඊට පිළිතුරු ලෙස,

සායේ වැදීලා විත් මෙපුර කිව්ව රු
මීයේ වදය ලෙස රස කර කියති බොරු
ලීයේ ඇදය හරිතත් හුයලා ගුරු
වෑයේ කුදය බැලුවම ඊටත් ගැඹුරු

හරි මෙච්චර වෙලා අපි එකම ප්‍රශ්නේ එක එක ආකාරවලින් ඇහුවා. ඔබ ඒ හැම අවස්ථාවක්ම සූක්ෂම ලෙස මඟ හැරියා. ඔබ චීවරධාරියෙක් ලෙස සිටිය දී, එහෙනම් ඇයි ගජමන් නෝනාගේ යහනෙ තනිකම මෙලෙස විමසුවේ,

චන්ද සූරියා වැනි බබලන වුවන
ඉන්ද නීල දෙක වැනි ලමැද එන තන
අන්ද කාරයට ඇවුළු පහන මෙන
කින්ද තනි යහනෙ නිදියන්න කාරන

මම මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න කැමති නෑ. මට මගේ නීතීඥයට කතා කරන්න ඕනේ. ඔබ දස්කොන් කරපු වැඩේ හරි කියලා තීන්දු කරලා නි‍ෙදාස්කොට නිදහස් කරා. ඇයි මාව මේ විදියට හිර කරන්නේ?

ඔබෙන් උත්තර ගන්න ඕන විදිය අපි දන්නවා. F.C.I.Dයට නීති උපදේෂකයන්ට එන්න බෑ. ඔබ ගජමන් නෝනට ඒ කවිය කියූ විට ඇය මෙහෙම කිව්වා මතක ද?

බැන්ද මගෙ හිමි පරලොව ගිය බැවින
නින්ද මෙමට පුරුදුය තනියම යහන
වින්ද රති සැපත මට මතක නොම වුණ
කිම්ද හිමි ඔබට විමසන්න කාරණ

ඔව්. ඒ සියල්ල සිහිනෙන් ගෑ මිහිරි සුවඳක් වගේ. මම ඒ අතීතයට ආදරෙයි. තවත් හංගන්න දෙයක් ඉතිරි වෙලා නැති හැඩයි. ඔබ කියන්න ඕන නෑ ඒ ගැන. මම ම කියන්නම්. මේ සියල්ල සිදු වුණේ මම ඇලපාත මුදලි වෙන්න කලින් තමයි. ඒ කියන්නේ ඇලපාත ධම්මරතන හිමි වෙලා වැඩ වසන කාලපරිච්ඡේදයේ. හැබයි මම ගිහි දිවියට ආවට පස්සේ වුණ දේවලුත් තියනවා.

දැන් ඔබට අවස්ථාව තියනවා කතාව කියන්න.
ඊට පස්සේ මම ආපහු ගජමන් නෝනට කවියක් ලිව්වා. ඒ කවිය ඇතුළේ මගේ හිතේ තෙරපෙන අදහස් ශෘංගාරාත්මකව මුදා හැරියා.

පාලා සරඹ ජය කොඩි බඳින හැම තැනේ
සීලාචාර සේ කම් පාන අවගුණේ
බාලා අඟනුන්ගෙ තව් කපන තොර පනේ
ගලා කොතැන මුවහත් කරමි ද නෝනේ

ගජමන් නෝනත් අතහැරියෙ නෑ. ඇයත් මාව තවත් ඇවිස්සෙන විදියෙ කවියක් ලියල එව්වා.

පසන් නැඹ ගුණැති හිමි සඳිනි සසොබෙනේ
පසන් පිරිමින්ගෙ ඔද බිඳින ජාල බෙනේ
වසන් කර තිබෙන මගෙ පළිඟු ගල් වනේ
නිකං ගා දින්නට නො දෙමි තොරපනේ

බලාගෙන ගියාම ඉතිහාසෙ ඉන්න හැමකෙනාම කරලා තියෙන්නෙ ගෑණු නලවන එකනේ?
ඔව් ඉතිං, අපි එහෙම නැලව්ව නිසා තමයි අද වෙනකොට මේ රටේ ජනතාව මිලියන 20 ඉක්මවලා වැඩි වුණේ.

ඔබ හිතන්නේ දිගටම සුද්දා රට පාලනය කරානං හොඳ ද? නැද්ද?
අනිවාර්යෙන්. ඉංග්‍රීසි ජාතිකයන් රට පාලනය කරා නං මීට වඩා දියුණුයි අපි.

දියුණුයි කිව්වේ?
දියුණුයි කිව්වේ අඩුම ගාණේ වැසිකිළි පාවිච්චියෙන් පස්සේ ජරාව අතේ ගා ගන්නේ නැතුව ටොයිලට් පේපර් විතරක්වත් පාවිච්චි කරන්න පුරුදු වෙලා මේ වෙනකොට.

ඇලපාතගේ තොරතුරු තවදුරටත් සෙවීම සඳහා කමිටුවක් පත් කළ අතර ඇලපාත අප හමුවීමට පැමිණි අවස්ථාවේ ගෙනා කෙසෙල් කැන් 10, කිරි හට්ටි 18 උසාවියට ඉදිරිපත් කිරීමේ දි කෙසෙල් කැන් 03 හා කිරිහට්ටි 04 ලෙස පහත බැස ඇති බව සඳහන් කරන්නේ කිරිපැණි සතුටිනි. පසුව ආරංචි වූ පරිදි ඇලපාත මුදලි බලෙන් F.C.I.D පැමිණ ඇත්තේ ඔහුගේ ජ්ඡ ෆෑන් පේජ් එකේ ලයික් ඉහළ දමා ගැනීමේ කූට උපක්‍රමයක් ලෙස ය. අවාසනාවට ඇලපාතගේ කිරි හට්ටිවලට F.C.I.D අප අසුවී ඇත. අපිට හොඳ වැඩේ යැයි කීමට බලා සිටින අයට දැන් ෆුල් ෆන් වනු ඇත.

සුපුන් රත්නායක

Leave a comment